Tuesday, July 29, 2014

හන්තානට පායන හඳ ගැන...


හන්තානට පායන හඳ...
ලස්සනයිද කියන්න....
මා නොදකින ඒ පුර හඳ...
ඔබට හැකිය දකින්න....

මේ ගීතය මට මුලින්ම අසන්නට ලැබුනේ මා උසස් පෙළ හදාරන කාලයේ අපේ physics පන්තියේ අවසන් දිනයේ... අපේ ආදරණිය ගුරුතුමා වූ කීර්ති ධර්මසිරි ගුරුතුමා මේ ගීතය හිමි ගායකයාගේ හඩින්ම අපට අසන්නට සැලැස්වූ නිසාවෙනි. ඇත්තන්ම එය අපේ බොහෝ දෙනෙකුගේ හදවතටම වැදුණු ඇසට කඳුලක් නැගුනු ගීතයක් වුනා. රැප් පොප් ඝෝෂාකාරී සංගීතයකට හුරු වූ අපට එදා ඒ ගී පෙළ අලුත්ම අද්දැකීමක් වූ බවනම් සැබෑය.. එය වෙනමම කතාවකි.



අමරසිරි පීරිස් ගායකයාණන් ගේ හඬින් ගැයුණු මේ මියුරු ගීතය, සමහරෙකුගේ හදවතටම දැනෙන ගීතයක්. ඒ වගේම මේ ගීතය ධම්මික බණ්ඩාර පද රචකයා අතින් ලියවෙන්නෙත් අපුරු සිදුවීමක් පාදක කරගෙන.
උසස් පෙළ ටියුෂන් පන්තියක මේ රචකයා දකිනවා අපුරු සිදුවීමක්.. ඒ එක ගෑනු ළමයෙක් එක්ක පිරිමි ළමයෙක් එක බත් මුලක් බෙදාගෙන කනවා. රචකයාත් මේ සිදුවීම දකින්නේ සුන්දර සිදුවීමක් ලෙසට. කාලයාගේ ඇවෑමෙන් ඔහුට මේ සිද්දිය අමතක වෙනවා.. ඒත් උසස් පෙළ ප්‍රතිපලත් සමඟ අර ගෑනු ළමය එනවා තම ගුරුවරයා වූ මේ රචකයා සොයාගෙන. "සර් මම campus select වුණා..." ගෑනු ළමයා ඉහලින්ම සමත් වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යනවා.. ඒත් මේ ගුරුවරයාට අර පිරිමි ළමයා මතක නෑ.. දවසක් මේ රචකයා පාරේ ඇවිදන් යනකොට. වාහනයක් ඇවිත් නවත්වනවා. එකෙන් බැහැල ආවේ හොදට ඇඳ පැළඳ ගත් තරුණයෙක්. මේ රචකයාට අර පිරිමි ළමයා මතක් වෙනවා... ඔහු අර තරුණයාගෙන් අහනවා.." කෝ අර බත් මුල බෙදාගෙන කාපු ගෑනු ළමයා.. campus ගියා නේද? කොහොමද දැන්??" අර තරුණයා ගේ මුණ වෙනස් වෙනවා... "සර් මම ඒ සම්බන්දෙ නැවැත්තුවා.." මේ රචකයා අහනවා.."ඇයි ඒ? තමුසේ මාර මිනිහෙක්නේ". "නෑ සර් මම එයාගේ ජීවිතේ මැද්දට පැන්නොත් එයාට එහෙ හැමදේම නැති වෙනවා.. එහෙ කොච්චරක් අද්දැකීම් තියනවද. කොච්චරක් හොද ජීවිතයක්ද තියෙන්නෙ. මම එයාව දාල ගියේ නැත්නම් එයාට කවදාවත් ඒවා විදින්න වෙන්නේ නෑ සර් "...
ධම්මික බණ්ඩාර අතින් "හන්තානට පායන හඳ" මේ ගීතය ලියවෙන්නේ අන්න එහෙමයි. ඒ 2005 අවුරුද්දේ දී. මේ තරුණයා තම ආදරය වෙනුවෙන් කල කැප කිරීම මේ ගීතය තුලින් මනාව පෙන්වා දෙනවා... ආදරය නම් මේ කැප කිරීමයි..

හන්තානට පායන හඳ... 
ලස්සනයිද කියන්න....
මා නොදකින ඒ පුර හඳ...
ඔබට හැකිය දකින්න....


මේ තරුණයා තම පෙම්වතිය සමඟ යාමට සිහින මැවූ ඒ සරසවි බිමට මේ තරුණයාට යන්න සිදුවෙන්නේ නෑ. ඔහුගේ ඒ හීන බොඳ වෙලා යද්දී මේ තරුණියගේ ඒ සිහිනය සැබෑ වෙලා... ඒත් මේ පෙම්වතා එකට ඉරිසියා කරන්නෙ නෑ.. මැදහත් සිතින් මේ තරුණියට සුබ පතනවා...

අඳුරු ලලා වහිනා කල...
සරසවි බීම තෙමෙන්න...
කුඩේ යටින් නුඹ යන කල..
එපා තනිය රැඳෙන්න.....

 මේ පෙම්වතා කොතරම් අමාරු වුණත් මේ පෙම්වත්හියට සමු දෙන්න තීරණය කරලා ඉවරයි.. කුඩේ යටින් නුඹ යන කල එපා තනිය රැඳෙන්න.... කුඩේ යටින් තනියම යන්න එපා මන් ගැන හිතමින්. තනියට කෙනෙක් ආවට මඟ අරින්න එපා.. මේ පෙම්වතා එහෙමයි කියන්නෙ...



ලතා මඬුලු අත වනාවි...
එපා අහක බලන්න...
මා ගැන මතකය ගුලි කර...
මහවැලියට දමන්න...

ලතා මඬුලු ලෙස මේ රචකයා උපමා කරන්නෙ විශ්වවිද්‍යාලය තුල මේ තරුණියගේ අත පතා පැමිණෙන පෙම්වතුන් ගැන. ලතා මඬුලු අත වනාවි එපා අහක බලන්න... ඒ පෙම්වතුන් ඔබේ අත පතා පැමිණේවි අහක බලන්න එපා... මා ගැන ඔබේ හිතේ තියන මතකය ගුලි කරලා විශ්වවිද්‍යාලය අසලින් ගලා බසින මහවැලි ගඟ ට විසි කර දමන්න...

 ධම්මික බණ්ඩාර රචකයා අතින් අපුරුවට ලියවුනු මේ අපූරු පෙම්වතාගේ සිතෙහි ඇති වුනු හැඟීම් ඩේනිස්ටර් පෙරේරා අතින් සංගීතය මුසු වී අමරසිරි පීරිස් ගායකයාගේ හඬින් මෙසේ ගායනා කෙරුණා..

හන්තානට පායන හඳ... 
ලස්සනයිද කියන්න....
මා නොදකින ඒ පුර හඳ...
ඔබට හැකිය දකින්න....//


අඳුරු ලලා වහිනා කල...
සරසවි බීම තෙමෙන්න...//
කුඩේ යටින් නුඹ යන කල..
එපා තනිය රැඳෙන්න.....


ලතා මඬුලු අත වනාවි...
එපා අහක බලන්න...//
මා ගැන මතකය ගුලි කර...
මහවැලියට දමන්න...

හන්තානට පායන හඳ... //



ධම්මික බණ්ඩාර ඒ පද රචනය ගැන අදහස් දක්වන්නේ මෙහෙමයි...

2 comments:

  1. පාසලේ ඒ ලෙවල් පන්තියේ ප්‍රේමයක් මට තිබුනෙත්. අවුරුදු 13ක් යාලු වෙලා ඉඳලත්(කැම්පස් එකේදිත් කට්ටිය යාලු වෙන්න ඇහුවට මම ස්ථිරව මගේ ප්‍රේමයත් එක්කම හිටියා.)එයාවම බැඳලත්,කියන්න දුකයි, සැනසීම බෝ දුරයි, සිත් රිදවීම් කප් කෙලක්,අට අනූවක් නොසලකා හැරීම්: නව අනූවක් පරුශ වචන! .ජීවිතේ ඔබට මට වාක්‍ය රචනයකට ගීතයකට,පොතකට ලඝු කල නොහැකි තරම් සංකීර්ණයි.

    ReplyDelete