Thursday, August 14, 2014

ආදරය හා විවාහය



මොකක්ද මේ ආදරය. එක එක අය එක එක විදිහට මේක විග්‍රහ කරයි. සරලව කිව්වොත් දෙදෙනෙක් අතර ඇති වෙන එක්තරා ආකාරයක ආකර්ෂණයක් ආදරය විදිහට විග්‍රහ කරන්න පුළුවන්.
සමහර විට පාරේදී මඟ තොටේදී කෙනෙක්ව දැක්ක පමණින්ම ආදරයක් ඇති වෙන්න පුළුවන්. ඒ, ඒ දැකපු කෙනා තමන්ගේ හිතේ ඇඳිලා තිබුණු තමන් ආදරය කරන කෙනාගේ රුපෙට සමාන නිසා වෙන්න පුළුවන්. එතැනදී ඇති වෙන්නේ ඒ රුපය කෙරෙහි ආදරයක්..


තවත් කෙනෙක්ට කෙනෙක්ව ආශ්‍රය කිරීමෙන් පස්සේ ආදරයක් ඇති වෙන්න පුළුවන්. කොහොම වුනත් දෙන්නෙක්ගේ සම්බන්දතාවකට වැදගත්ම දෙයක් තමයි විශ්වාසය කියන්නෙ. විශ්වාසය කියන දේ දෙදෙනෙක් අතර සම්බන්දතාවක වැදගත්ම දෙයක්. ඒ වගේම එකිනෙකා තුල තිබිය යුතු අවංක ආදරය, එකිනෙකා කෙරෙහි තිබිය යුතු කරුණාව, යහපත් සම්බන්දතාවකට ඉතාමත් වැදගත්.  තමන් කරන කියන දේවල් වගේම අනාගතය පිලිබඳ ගන්නා තීරණ එකිනෙකා සමඟ සුහදව සාකච්ඡා කිරීමෙන් නිවැරදි තීරණයකට එළැඹීම ඒ දෙදෙනාගේ යහපත් සම්බදතාවයක ලක්ෂණයක්.
තමන්ගේ තනි තීරණ ක්‍රියාවට නැංවීමට යාම තමයි දෙදෙනෙකුගේ සම්බන්දතාවට කණකොකා හඩන්න පටන් ගන්න අවස්තාව. එකිනෙකාව රුස්සන් නැති වීම හිතේ ඇති වෙන කෝපය මේ හැම දෙයක්ම පටන් ගන්න එක කොනක් තමා.
එකිනෙකා තුල ඇති වෙන විශ්වාසය සහ අසීමිත ආදරය කිසිම විටෙක කේලම් වලට සහ තමන්ගේ යහළු මිත්‍රාදීන්ගේ කතා වලට සිදුරු කිරීමට ඉඩ නොදිය යුතුයි. එකට තමන්ගේ සිතේ තම සහකරුවා හෝ සහකාරිය පිළිබඳව මනා විශ්වාසයක් මෙන්ම තමන්ද තම සහකරුවාට හෝ සහකාරියට අවංකව සිටිය යුතුයි. එවිටයි නියම ආදර සබඳතාවක් ඇති කරගන්න පුළුවන්..

ආදරය සහ විවාහය ගැන එක්තරා අපුරු කතාවක් තියනවා;

පන්තියක ළමයෙක් තමන්ගේ ගුරුවරයාගෙන් මෙහෙම අහනවා.....

ළමයා : "සර්.. ආදරය  කියන්නේ මොකද්ද..?"  
ගුරුවරයා : "මං ඒකට උත්තර දෙන්න කලින්, ඔයාට කරන්න තියෙනවා වැඩක්. යන්න තිරිගු යායකට. ගිහින් ඒ යායේ තියෙන ලොකුම තිරිගු කරල අරන් එන්න. හැබැයි කොන්දේසියක් තියෙනවා. ඔයාට යාය මැදින් යන්න පුළුවන් එක වතාවක් සහ ආපහු හැරිලා පහුවුණු කරලක් කඩන් එන්න බෑ.."                                   
ඉතින් මේ කොන්දේසි වලට කැමති උන ළමයා දැන් තිරිගු යායකට ගිහින් ගුරුවරයා කියපු විදියටම වැඩේ කරන්න ලෑස්ති වුනා. යාය මැදින් යද්දී දැක්කා ලොකු තිරිගු කරලක්. තාම ගමන පටන් ගත්තා විතරක් නිසාත්, මීට වඩා ලොකු කරල් ඉස්සරහට හම්බවෙන්න පුළුවන් කියල හිතාගෙන ඒ කරල  අත ඇරලා ඉස්සරහට ගියා. තව ටිකක් දුර යද්දී තවත් ලොකු කරලක් හම්බවුනා. ඒත් ළමයාට හිතුනේ මීට වැඩ ලොකු කරලක් ඉස්සරහට හම්බ වෙන්න පුළුවන් කියල. ඉතින් ඒකත් අත හැරලා දාලා ආයෙත් ඉස්සරහට යන්න පටන් ගත්තා. මේ විදියටම කිහිප සැරයක්ම අතට ගත්ත කරල් දාල ඉස්සරට ගියා මීට වඩා ලොකු එකක් හමු වෙයි කියන බලාපොරොත්තුවෙන්. අවසානයේදී එයාට හම්බුනේ කලින් දැකපු කරල් වලට වඩා පොඩි කරලක්. දැන් ඉතින් ආයේ හැරිලා ගිහින් ලොකු කරලක් අරන් එන්නත් බෑනේ. කොන්දේසියක් දාලා තිබුනනනේ.ඉතින් දැන් මෙයාට දුකයිලු. ඉතින් හිස් අතින් ගුරුවරයා ළගට ගියා.
ගුරුවරයා : " ඕකට තමයි දරුවා  ආදරය කියන්නේ.. ඔබ දිගටම යනවා මට මීට වඩා හොද කෙනක් ඉස්සරහට  හමුවෙයි කියන බලාපොරොත්තුවෙන් තියෙන දේ අතහැරලා.. ඒත් ඔයාට පසු කාලෙකදී තේරුම් යනවා ඔයා ඔයාට හම්බුනු හොදම කෙනා අත හැර ගත්තා කියලා.." 
ළමයා : සර්.. එතකොට විවාහය කියන්නේ මොකද්ද? 
ගුරුවරයා : "මං ඒකට උත්තර දෙන්න කලින්, ඔයාට කරන්න තියෙනවා ආයෙත් වැඩක්. යන්න ඉරිගු  යායකට. ගිහින් ඒ යායේ තියෙන ලොකුම ඉරිගු කරල අරන් එන්න. හැබැයි අර කලින් තිබුණු කොන්දෙසිමයි.." ඉතින් ආයෙත් මේ ළමයා ගියා ඉරිගු යායකට. කලින් කරගත්ත මෝඩ වැඩේ මේ පාර කරගන්න හිතන් නැතුව මුලින්ම හම්බවුනු ලොකුම ඉරිගු කරල කඩාගෙන ගුරුවරයාට ගිහින් දුන්නා. 
ගුරුවරයා : " මේ වතාවේ ඔබ ගෙනාවේ ඉරිගු කරලක්.. ඔබ දකිනවා ඒක තම හොදම එක කියලා. ඉතින් ඔබ ඒ ගැන විශ්වාස කරනවා මේ තමා හොදම සහ ගැලපෙනම එක ඔබ තෝරගත්ත.. ඉතින් ඒක තමා විවාහය.."


කොහොමින් කොහොම හරි ආදරය කිරීමෙන් හෙම්බත් වෙලා හොදටම ඇති වුන පසු විවාහය පිලිබඳ අදහස් පහල වෙනවා. මෙතැනින් තමා මෙච්චර දුරක් පැමිණි රෝමාන්තික කතාවේ අල වන තැන් චොර වෙන තැන් මෙන්ම දෙල් වෙන හා ඇඬේන පරිච්ඡේදය පටන් ගන්නෙ. ජාතිය ආගම කුලය මෙකී නොකී බොහෝ දේවල් වල ආරම්භය විවාහයයි. ජාතියක් නැති ආගමක් නැති කුලයක් නැති ආදරය, විවාහයකට පෙරලෙනකොට මේ සේරම දේවල් එක පෝලිමට ඇවිත් එල්ලෙනවා.
බොදු ගොවි කතෝලික දේව කරාව ආදී වශයෙන් බෙදීම් ගොඩක් ඉස්සරහට දාගෙන ආරම්භ වෙන බැඳීමටයි අද විවාහය ලෙස නම් කරන්නෙ. මොන සක්කරයා ආවත් අද අපේ රටේ මේ සංකල්ප වෙනස් කරන්න නම් තව කල්ප ගානක්වත් යන එක යනවාමයි.
විවාහය යන මාතෘකාව තුල ආදරය බැඳීම කියන දේවල් අද කිසිම විටෙක අදාළ කරගන්නේ නැත. ඒ වෙනුවට මිල මුදල්, කුලය, ජාතිය, ආගම සහ චරිතවත් බව යන දේවල් මල්ලක දමා හොදින් වර්ණ කඩදාසි වලින් හැඩගන්වා භාණ්ඩ හා සේවා හුවමාරුවක් ලෙස එකිනෙකා අතට පත් කිරීම අද සමාජයේ විවාහය ලෙස අනියම් ආකාරයෙන්  නම් කරලා තියනවා.


අද සමාජයේ තත්වය මෙයද? වෙනස් විය යුත්තේ ආදරයද? විවාහයද? දවසකට දික්කසාද කියක්නම් අද අප රටේ සිදුවෙනවද. මෙයට හේතුව එකිනෙකා තෙරුම් නොගැනීමද, නැතිනම් වෙනත් අයගේ තෘප්තිය උදෙසා ජීවිත කැප කිරීමේ ආනිසංසද.
ප්‍රේමය අවසානයේ ගනුදෙනුවක් බවට පත්වීමෙන් පසුව තවත් ඒ තුල ආදරයක් ඉතුරු වෙලා තියනවද. ජාඩියට මුඩිය වගේ හිටපු බොහෝ දෙනෙක්ගේ දික්කසාද ගැන බැලුවොත් ඒ ජීවිත අස්සේ කොහේ හරි මේ අමිහිරි සත්‍ය හැංගිලා තියනවා.
විවාහයට පත් මිනිසුන්ගේ යුතුකම එකිනෙකාට ආදරය කිරීම නම්, එකිනෙකාට ආදරය කරන දෙදෙනෙකුගේ යුතුකම විවාපත් වීම නොවේද?
ඒ ආදරවන්තයන්ගේ අයිතියට වඩා දෙමවුපියන්ගේ, නෑදෑ හිතමිතුරන්ගේත් කපුවන්ගේත් අයිතියට වඩා උසස් නොවන්නේද?
අද සමාජයේ මේ වැරැද්ද නිවැරදි විය යුතුයි නේද?
මතු අනාගතයේදීවත් එම වැරැද්ද නිවැරදි කරගන්න බලමු... අලුත් යහපත් ආදරණිය සමාජයක් ගොඩනගන්න උත්සාහ කරමු...

2 comments:

  1. ඇත්තටම හොද ලිවිල්ලක්...සාර්ථකයි ජය වේවා...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...