Tuesday, September 30, 2014

මචන් මේකත් පොඩ්ඩක් අහපන්... ☟



just listen


මචන්...

ජීවිතේ කියන්නේ කෙල්ලෝ නෙමෙයි මචන්...
මොනවා වුනත් තමන්ගේ අම්මට තාත්තට සලකල හිටපන්.. උඹව ඔය තත්වෙට ගත්තේ උඹේ අම්ම තාත්ත නේද.. ඒ මිනිස්සු කොච්චර දුක් විඳින්න ඇද්ද උඹව උස් මහත් කරන්න.. වෙල් ගණන් නොකා ඉඳල උඹ කන දිහා බලන් ඉඳල බඩ පුරවා ගන්න ඇද්ද... ඒත් අද උඹට වටින්නේ ඒ අම්ම තාත්ත නෙමයි. උඹේ ඉගෙනීමට වඩා උඹට කෙල්ලෝ ලොකු වුණා... උඹලගේ තාත්තා දුක් මහන්සියෙන් නොකා නොබී හම්බ කරපු සල්ලි වියදම් කරලා උඹ කැම්පස් ආවා.. උඹ යාළුවන්ට ණය වෙලා ගත්ත ලැප්ටොප් එක නිසා උඹ එක පාරක් කොළඹ හතේ කෙල්ලෙක්ට රැවටුනා... උඹ ජීවිතේ එපා කරගත්තේ හරියට එකී උඹේ මුළු ජීවිතේම උදුරා ගත්ත වගේ.. ඒත් ඒකි උඹෙන් ගත්තේ සති කීපයයි. ඊට පස්සේ උඹ ස්කයිප් එකෙන් මුණ වත් දැක්කේ නැති කෙල්ලෙක්ට ලව් කරා... උඹ අර අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු විකුණලා කෙල්ල වෙනුවෙන් වියදම් කරා... උඹේ සල්ලිද?
නෑ...
අර දුක් විඳින මනුස්සයාගේ සල්ලි.....
මේවා සහ ගහන අපරාද මචන්.. ඒත් උඹ තේරුම් ගත්තේ නෑ...
ස්කයිප් කෙල්ලව හම්බෙලා දවස් දෙකයි ඒකි උඹට ඇඳට කතා කරා... එතකොටවත් උඹට තේරුම් ගන්න බැරි වුනාද.....
 දාස් ගණන් වියදම් කර කර කැම්පස් එන්නෙත් නැතුව උඹ ඒකි එක්ක පිස්සු කෙලියා... අපි කියපු කිසි දෙයක් උඹ කනකට ගත්තේ නෑ....

ස්කයිප් කෙල්ල ඒකිගේ පැටිකිරිය ගැන කිව්වේ උඹ ඒකිව දාල ගියාට පස්සේ නේද...

ඒත් සැහෙන කාලෙකට පස්සේ අපි කියපුව උඹ තේරුම් ගත්ත කියල මම හිතුවා..

ඒත් මම වැරදියි...

උඹ තව එකක් සෙට් කරගෙන... ඔව් කෙල්ල ලස්සනයි තමයි.. අහිංසකයි....

උඹට කෙල්ලෙක් නැතුවම බැරි නම් ඕකවත් හරියට කරගෙන හිටහන්... එදා මම කිව්වේ එහෙමයි... අවුලකින් නෙමෙයි මචෝ...  උඹට දැන් වත් හරි යයි කියන සිතිවිල්ලෙන්... කෙල්ල හොඳයි තමයි. පොළොවේ පය ගහල ඉන්න කෙල්ලෙක්. අනාගතේ ගැන හිතල තීරණ ගන්න කෙල්ලෙක්.. උඹේ වාසනාවටද මන්දා උඹට ජොබ් කට්ටකුත් සෙට් වුණා...
යාලුවෝ විදිහට අපි එදත් සතුටු වුණා.. කැම්පස් එකේදී සෙට් වුණා හොඳම යාළුවා විදිහට මම ඊටත් වඩා සතුටු වුණා මචෝ..

ඒත් අන්තිමට මොකද වුනේ.... උඹට හැම දේම අමතක වුණා... අම්ම තාත්ත පවා... උඹේ මුළු ජීවිතේම දැන් අර ජීවිතේ වරද්ද ගත්ත කෙල්ල ගාව.... වරදට සමාව දෙන දෙවියෙක් වෙලා දැන් උඹ....

මුළු ජීවිතේම දින්නා කියල උඹ හිතන් හිටියට උඹ පැරදිලා මචෝ... හම්බ කරන හැම සතේම ඒකිට දීලා උඹ තවම කන්නේ බොන්නේ ගෙදරින්... ඔව් දැන් උඹට කරන්න වෙන දෙයක් ඉතුරු වෙලා නෑ.. කවදම හරි උඹට ඒකිවම කරගහන්න වෙයි... සමහර විට උබේ හැම දෙයක්ම උදුරාගෙන උඹට වත් හොයා ගන්න බැරි දිහාකට යයි.

එදාට උඹට ඉතුරු වෙන්නේ උඹේ අසරණ දෙමවුපියෝ දෙන්න විතරයි...

කවදාවත් ඒ මිනිස්සුන්ට දුකක් දෙන්න එපා... දෙමවුපියන්ගේ හිත් රිදවනවා කියන එක සහ ගහන අපරාධයක් මචෝ...
පොඩි කාලෙකදී අපි ගාවට යන එන මිනිස්සු ගැන ඕනෑවට වඩා හිතන්න එපා බන්... බස් එකක් වුනත් හෝල්ට් එකේ නවත්තන් ඉන්නේ මිනිස්සු නඟිනකන් විතරයි. තමන්ගේ එකම පුතා හොඳ රස්සාවක් කරලා ඉස්සෙල්ලම ගන්න පඩියෙන් තමන්ට පුංචි හරි තෑග්ගක්  අරන් එන එක ඕනෑම අම්මෙක් තාත්තෙක් දකින හීනයක් මචන්. ඒ වෙලාවට අම්මගේ තාත්තගේ ඇස් වලට එන සතුටු කඳුළු උඹට ආයේ කවදාවත් දකින්න බෑ මචන්. ඒත් උඹ ඒ දේ කරාද...
කවද හරි දවසක උඹේ දරුවෙක් උඹට ඔය දේ කරද්දී උඹට තේරෙයි මචෝ.. එදාට උඹ පරක්කු වැඩි...
උදේ ඉඳන් දාඩිය මහන්සියෙන් ගෙදර දොරේ වැඩ ටික කරන.. උඹේ රෙදි ටික හෝදලා දෙන අම්මට උඹේ අතින් බත් කටක් කවල තියනවද... අව්වට වේලිලා දිය වෙලා ගිය කමිසේ ඇඳන්, තැන් තැන් වලින් අන්ඩ දාපු කලිසම ඇඳන් උදේ පාන්දරම රේල් පාරේ වැඩට යන තාත්තට උඹ කමිසයක් අරන් දුන්නද...

ඒ වුනාට අර කෙල්ලට උඹ ඇඳුම් නම් කියක් අරන් දුන්නද.....

පොඩ්ඩක් කල්පනා කරලා බලපන් මචෝ... උඹ ගෙදරට බොරු කරලා මොන තරම් සැප වින්දත් වැඩක් තියනවද... උඹේ දෙමවුපියෝ සතුටු වෙනවා උඹ කාවද හරි හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් වෙයි කියලා... ඒත් උඹ ඩිග්රි එකත් අත ඇරලා ඉබාගාතේ යනවා... උඹට ජොබ් එකක් තියනවා තමයි.. ඒත් උඹට කොච්චර ඉහලට යන්න පුලුවන්ද... ඩිග්රි එක කරන්න උඹට කොච්චර වෙලාව තිබ්බත් දැන් ඒකි උඹට ඩිග්රි එක එපා කරවල ඉවරයි නේද... සිහි බුද්ධියෙන් හිතල බලපන් මචෝ උඹ ඉන්නේ කොහෙද කියලා... උඹට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා... උඹේ හදවතින් අහල බලපන් මම කියන්නේ බොරුද කියලා...


කවදාම හරි දවසක උඹට තේරෙයි උඹ කොච්චර පව් කාරයෙක්ද කියලා...





ඔව් උඹ හිතින් මට බනියි... 
ඒත් මම මේවා කියන්නේ කාලයක් මම නොදැන කරපු වැරැද්දට තාමත් පසුතැවෙන හින්දා... යාලුවෙක් විදිහට උඹටත් ඒ දුක දෙන්න බැරි හින්දා... වාසනාවකට ඒ පව්කාර ජීවිතෙන් මම ගොඩ ආවත්... ඒ වේදනාව කවදාවත් නැතිවෙන්නේ නෑ මචෝ.. ඒකයි මම උඹටත් කියන්නේ... දැන දැන වලේ වැටෙන්න එපා..

 උඹ හොඳ මනුස්සයෙක් බන්. හිත හොඳ එකා... ඒත් තාමත් උඹට හැදෙන්න පුළුවන්... තවම පරක්කු නෑ.....


truth


ඔව්... මේක ඔයාගෙත් කතාව වෙන්න පුළුවන්....



Photos: http://2.bp.blogspot.com/-n-uHdpYjS5Q/UFpHYAZ-S4I/AAAAAAAABAo/0DjMVFGBn4o/s400/just-listen.jpg
             http://fellowpillow.files.wordpress.com/2012/12/truth.jpg

Tuesday, September 23, 2014

මිහිරි මතකයන්...❢❢❢


මට තාමත් මතකයි අපි මුණ ගැසුන පලවෙනි දවස....
පාන්දරින්ම මම කොළඹින් නුවරට ආවේ හිතේ ලොකු චකිතයකින්....
අපි දෙන්න මුලින්ම මුණ ගැසෙන දවස....
ඔයත් ඒ වගේම චකිතයකින් ඉන්න ඇති...
මාස ගානක් කටහඬ විතරක් අහපු... ෆොටෝ වලින් විතරක් දැකපු ඔයාව....
ඇත්තටම මුණ ගැසෙන දවස... 
අපේ ආදර කතාවේ සුන්දරතම දවස....
මුල්ම වතාවට ගුඩ් ෂෙඩ් බස් ස්ටෑන්ඩ් එකේදී දුවන්න බලන් ඉන්න හා පැටියෙක් වගේ බයෙන් වගේ වට පිට බල බල හිටපු ඔයාව දකිද්දී....
මට දැනුනේ මම මුළු ලෝකෙම දින්නා කියලා....





ඇත්ත......


ඔයා තමයි මගේ ජීවිතේට ලැබුණු හොඳම දේ....

අරමුණක් නැතිව...
අනාගතයක් නැතිව...
පිස්සුවෙන් වගේ එහෙ මෙහෙ දුව දුව හිටපු මගේ ජීවිතේට....
අරමුණක් දුන්නේ ඔයා....
ඉදිරියක් හදල දුන්නේ ඔයා.....
ලස්සන අනාගතයක්... ලස්සන ජිවිතයක් ගැන හීන දුන්නේ ඔයා... 

හිතට දුකක් ආවම... සැනසීම දුන්නේ ඔයා...
තරහකදී.... නිවීම දුන්නේ ඔයා...
ඒ සැනසීම මම හැමදාමත් බලාපොරොත්තු වෙනවා රත්තරන්...

ඉස්සර වගේම කතා කරන්න.... 
ඔයා එක්ක හීන දකින්න අදටත් මම ආසයි...
මොන දේ ලැබුනත්... ඉස්සර හිටපු ඔයා නැති ජීවිතේ හිස් වෙලා...
හීන මවපු අනාගතේ ඇතුලේ අපි අතරමන් වෙලා.....


හිත ඇතුලේ හොල්මන් කරන...
ඒ නැතිවුන අතීතය තාමත් මම හොයනවා...
ඒ මිහිරි මතකයන්ට යන පාර මම තාමත් හොයනවා...   
         
         ╰☆╮╰☆╮╰☆╮

Wednesday, September 17, 2014

දුම්රියේ රස කතා ☞ සීට් එක ಠ_ಠ


කුරුණෑගල බලා පිටත් වන කාර්යාලීය දුම්රියකි. වයස අවුරුදු පනහකට ආසන්න පුද්ගලයෙක් දුම්රියේ අසුන් ගෙන සිටී... ඔහුට අපි සිරිපාල යැයි කියමු.රාගමට ආසන්නය. ඔහුගේ ආසනයට තරමක් දුරින් තරුණ ගැහැණු ළමයෙකු හිටගෙන සිටී..

සිරිපාල: (තරමක් ඉස්සී අත දිගු කරමින්)   "ස් ස් මේ.... එන්න ඉඳගන්න...."

තරුණිය: "අනේ නෑ ඕනේ නෑ මම ලඟින් බහිනවා..."

සිරිපාල : " එන්න අනේ එන්න..."

තරුණිය: (සිනාවක් පාමින්) "නෑ නෑ ඔහොම යමූ...."

ඔහු නිශ්ශබ්දය.....


ගම්පහ පසු වීමෙන් පසු නැවතත්........

සිරිපාල: (නැවත අත වනමින්) "එන්න එන්න ඉඳගන්න..."

තරුණිය: "නෑ නෑ අවුලක් නෑ ඔහොම ඉන්න..."

සිරිපාල: "අනේ මෙන්න මෙහෙන් ඉඳගන්න..."

ඔහු ආසනයෙන් නැගිටියි... බේරෙන්නම බැරි තැන තරුණිය ඉඳ ගනී... ඔහු තරමක් පසු පසට පැමිණ දුරකථන ඇමතුමක් ගනී....

සිරිපාල: "මචන් සීට් එක දුන්නා දැන් මොකද කරන්නේ???"
..............................................
සිරිපාල: "හරි බන් කතා කරන්නේ මොනවා ගැනද....?"

සිරිපාල නැවත තරුණිය අසලට යයි... 

අහෝ ඇය සැප නින්දේ ය.......

පොල්ගහවෙලට යන තුරුත් ඇය නිදි දෙව්දුව තුරුලේ ය...!!!!




Photos: https://farm9.staticflickr.com/8234/8553392467_a73d00f440.jpg
             http://icarusrestaurant.com/wp-content/uploads/2013/11/Lady-Sleeping1.jpg

Tuesday, September 16, 2014

Good Old Days ➟ අමතක නොවන අතීතය...3

back to school


මේ සිද්ධිය වෙනකොට මම දහය වසරේ.. අපේ බාලදක්ෂ සමූහය මඟින් වාර්ෂිකව පවත්වන සම්පත් රණවක අනුස්මරණ ගවේෂණ තරඟය ට අපි සුදානම් වෙන කාලේ සිද්ධ වෙච්ච වැඩක් මේක... මේ ගවේෂණ තරඟාවලිය වෙනුවෙන් නිකුත් කරපු සඟරාවේ පල කරලා තිබ්බ දැන්වීම් කිහිපයක මුදල් එකතු කරගෙන එන්න මටත් අපේ කණ්ඩායමේ හිටපු ප්‍රභාෂ් ටත් බාර වුණා.. හවස 3 ට කලින් ගෙනත් දෙන්න කියලයි අපිට නියෝග හම්බුනේ.. ඒත් ඉස්කෝලේ වෙලාවේ???? තර්ක කරලා වැඩක් නෑනේ සීනියර් අය්යල එක්ක. කොහොම හරි වැඩේ කෙරෙන්නයි ඕනෑ... 
ඔන්න ඉතින් හෙනම ගේමක් ගහලා ගේට්ටුවෙන්ම පන ගත්ත එලියට. මුලින්ම යන්න තිබ්බේ පොතුහැර ටවුන් එකේ කඩ 2 ක කට. ඒ වැඩෙත් හරි. ආපහු කුරුණෑගලට එනකොට 11 ට විතර ඇති. ඊලඟට යන්න තිබ්බේ මල්ලවපිටියට කොහොම හරි අපි දෙන්නත් ඉබි ගමනින් ඒ ගමන ගිහින් අපහු ඉස්කෝලෙට එන්න ආවා... තව රවුමක් යන්න අදහසක් තිබ්බත් ඉකමනටම ආවේ පරක්කු වෙලා චාටර් වෙනවට වඩා ඉක්මනින් ඇවිත් ඇඟ බේරා ගන්න එක වටින හින්දා. කොහොම හරි ගේට්ටුවෙන් ඇතුල් වෙන්නත් පොඩි ගේමක් දෙන්න වෙනවනේ. ඇයි මේ පට්ට දවල් යුනිෆෝම් ගහන් ඇතුලට යන්න දෙන එකක්යැ... කෝකටත් කියලා පොඩ්ඩක් ඔලුව දාල බලද්දී සික්කෝ පේන්න හිටියෙත් නෑ... අපිත් ආයේ බල බල ඉන්නේ මොකටද. විදුලි වේගයෙන් ඇතුලේ. එතකොටම සික්කෙක් මුණ ඉස්සරහා.. මූත් "ආ මල්ලි.." කියාගෙන හිනාවක් දාල ගියා.. අපි දෙන්න ෆුල් හොල්මන්. ඒත් එක්කම එතනම තියන බිල්ඩිමේ කොල්ලෝ දෙන්නෙක් මොනවදෝ කියනවා අපි දෙන්නට. අපිත් මුන් දෙන්න දිහා බලන් කියන දේ තේරුම් ගන්න බලනවා.. මොනවා කියනවද මන්ද තේරෙන්නෙත් නෑ.. එක පාරම මුන් දෙන්න අතුරුදහන්. පිටිපස්සෙන්.... "ඔහොම ඉන්නවා..." මොකාද ඒ... අප්පටසිරි වයිස් පිනා!!!! දැන් තමයි සේරම තේරුනේ අරුන් දෙන්න කියපු... මේ මිනිහට අහු වෙනවා කියන්නේ බේරිලි බොරු. අයෙ ඉතින් දෙන්න පුළුවන් උපරිමේටම දඬුවම් සෙට් කරලා නවතින්නේ... පිනා හොඳයි තව..!!!!


වයිස් පිනා: "කොහෙද ගියේ..."

අපි: "නෑ සර් මේ scouting වැඩකට"

ඔන්න කරුමෙට බෙල් ඒකත් ගැහුවා.. ගහපන් ඕක තව විනාඩියක් කලින් රෙද්ද....

වයිස් පිනා: "scouting!!! එළියේ ඉදන් නේද ආවේ.. තොපි තමයි මෙතනින් හැමදාම පනින එවුන්.. අල්ලගන්න තමයි මමත් මේ බලන් හිටියේ..."

අපි: " අනේ නෑ සර් අදමයි මේ ගියේ..."

වයිස් පිනා: " ආ ඇත්තද.. අහිංසක කොල්ලෝ දෙන්න... මොන පන්ති වලද....."

අපි: "දහය c එකේ සර්..."

වයිස් පිනා: "වරෙන් යන්න sectional head ගාවට...."

මොනවා කරන්නද.. අදනම් බඩු බනිස්... අවුරුදු දහයක් තිස්සේ රැකගෙන ආපු කාර්ඩ් එක..  කුඩේ කුඩු.

වයිස් පිනා: "මිස්ටර් හැරිස්.. බලන්න මේ ළමයි දෙන්න ඉස්කෝලෙන් එළියේ ඉඳන් දැන් අවේ ඇතුලට. මොනවා කරන්න ගිහින් ද දන්නේ නෑ.. උදේ ඉඳන් පන්තියේ හිටියද දන්නෙත් නෑ... scouting කියා කියා කොහේ යනවද දන්නේ නෑ..."

head: "මොන පන්තියේද තමුසෙලා??"

අපි: "10-c එකේ සර්..."

head: "එසේ මෙසේ පන්තියක් නෙමෙයි සර් ඕක..."

වයිස් පිනා: "මේ ළමයින්ගේ පොත් ගෙන්නන්න බලන්න මිස්ටර් හැරිස්... උදේ ඉඳන් ඉඳලද බලන්න..."

head: "හරි සර් මම ගෙන්නන්නම්..."

පොතුත් ගෙනාව... අදනම් ඉවරටම ඉවරයි.. දවස් ගානකින් note එකක් ලියනවා තියා පොත් වලට අතවත් තියල නෑ... අපි දෙන්නට දැන් හීන් දාඩිය දාල...

වයිස් පිනා: " මොකද වෙව්ලන්නේ... බයද? මුකුත් වැඩක් කාරල නැද්ද? නැත්නම් තොපි කුඩු ගහලද...??"

ඔය කිව්වේ කතාවක්....

වයිස් පිනා: "මේ ළමයි හැබැයි වැඩ කරලා වගේ... මේ note ටිකත් තියෙන්නේ පිළිවෙලට..."

දැන් නම් අපිට ෆුල් ම හොල්මන්... ඈ යකෝ දවස් ගානක් වැඩ නොකරපු අපේ පොත් වලට note ආවේ කොහොමද??? දෙය්යෝ දුන්න වගේ වැඩක් නේ මේක.

වයිස් පිනා: "හෙට ඉස්කෝලේ එනකොට ගෙදරින් එක්කන් එන්න ඕනෑ.. නැත්නම් බලාගන්න පුළුවන්... මිස්ටර් හැරිස්.. බලන්න මේ දෙන්න ගැන. පන්ති භාර සර් ව දැනුවත් කරන්න..."

හම්මේ ඉතින් ළමයි ඉස්කෝලේ ඇරිලා යනවා.. දෙනෝ දාහක් සෙනඟ බලන් ඉද්දි දෙන්නටම වේවැල් පාරවල් එකසිය ගානට... වේවැල් පාරවල් වලටත් වඩා රිදුනේ සෙනඟ මැද්දේ කන්න සෙට් වුනු එකට. මොනවා කරන්නද... 



beat by teacher


පස්සේ අපිත් පොත් ටික අරන් බැලුවා.. යකඩෝ... දින දාල වැඩ පටන් ගත්තේ නැති එක ගැන එදා තමයි වැඩිපුරම සතුටු වුනේ... පොත් ටික ඉල්ලන් එන්න යවපු වෙලේ පන්තියේ එවුන් අපේ පොත් දීල තියෙන්නේ පරණ note වලට දින දාලා... :D හම්මේ රත්තරන් යාලුවෝ ටික!!!!

හැබැයි ඊළඟ දවසේ නම් පන්තිය පැත්ත පළාතේ ගියේ නෑ... කෙලින්ම වාර්තා කරේ බාලදක්ෂ කාමරේ ට. වාසනාවට ඒ දින කීපයේ පාසල තුල අපිට ගවේෂණ තරඟය සඳහා සංවිධාන කටයුතු කරන්න අවසර ලැබිලයි තිබුනේ. කොහොම හරි හවස් වෙනකන් පන්ති භාර සර් ගෙනුයි හැරිස් සර් ගෙනුයි' වයිස් පිනා ගෙනුයි බේරිලා හිටියා. ඒත් අවාසනාවක මහත.. එදත් අන්තිම දවසේ අවාසනාවන්ත ලෙස මාව අහු වුණා පන්ති භාර සර් ට!!! කාල වරෙන්කො තනියම. යාළුවා පාවල දුන්නෙත් නෑ.. තනියම එදත් හොඳ හැටි කාල ගෙදර ගියා.....

ගෙදර ගිහින්;

මම: "අප්පච්චි හෙට parents meeting එකක්"

අප්පච්චි: "ඒ මොකෝ මේ හදිස්සියේ පන්තියේ එකක්ද?"

මම: "එහෙමමත් නෑ අප්පච්චි, වයිස් ප්‍රින්සිපලුයි හැරිස් සරුයි පන්ති භාර සරුයි අප්පච්චියි මමයි...."

ඉතුරු ටික හිතාගන්නකෝ...!!!!!

Tuesday, September 9, 2014

මගෙන් උපන්දින සුභ පැතුම්!!!!

happy birthday


ඊයේ ඔයාගේ 23 වෙනි උපන් දිනේ... "මම කවදාවත් උපන්දිනේ දවසේ පිට ඉඳල නෑ රත්තරන්, මේ පාර මගේ උපන්දිනේ දවසේ මගේම කියල කවුරුත්ම නෑ මන් ගාව.." ඔයා කියපු හැටි තාමත් මතකයි.. අවුරුදු 23ක් ගෙදර බඩ පිස්සි විදිහට හුරතලේට හැදුන ඔයා අද ඔයාගෙම අනාගතයක් වෙනුවෙන් මහන්සි වෙනවා.. ගෙදරින් ගොඩක් දුර ඇවිත්.. වෙනදට උපන් දිනේ දවසට පවුලේ අයත් එක්ක දළදා මාලිගාවට යන.. ගැටඹේ පන්සලට බෝධි පුජා තියන ඔයා අද ඒ හැමෝගෙන්ම ඈත් වෙලා..
සමහර විට ඔයා එදා මට එහෙම කිව්වේ "අනේ එදාට මාව බලන්න එන්න " කියල වෙන්න ඇති.. ඒත් හිතේ තිබ්බ තරහටමද මන්දා මම ඔයාට කිව්වේ "සඳුදා නිවාඩුනේ... විනාඩි 10ක ට පහළොවකට මම දවසම නැති කරගෙන එන්න ඕනද " කියලා... ඒත් ඔයාට ඇහුනේ නැති වුනත් හිත ඇතුලෙන් කෑගහල කිව්වේ "මම එන්නම් රත්තරන්" කියලද මන්දා..... උදේ වෙනකන් ඔයාව බලන්න.. ඔයාට සුභ පතන්න එන්නේ නැතුව ඉන්න මම මාත් එක්කම පොර බැදුවා... ඒත් මගේ හිත දින්නා... ඔයාගේ උපන්දිනේට දෙන්න ගත්තු තෑගී ටිකත්... 'සුනිල් ෆොටෝ' එකේ ඇන්ටිත් එක්ක ඇරගෙන බොහොම අමාරුවෙන් ප්‍රින්ට් කරගත්තු ඔයා ආසම ෆොටෝ එකත් අරගෙන මම ආවේ එක විනාඩි පහකට හරි ඔයාව බලල යන්න.. උපන්දිනේ දවසේ ඔයාගෙම කියලා එක්කෙනෙක් හරි ඔයා වෙනුවෙන් එක විනාඩි පහකට හරි හිටියනේ කියල ඔයාගේ හිත හදන්න... බොරැල්ලෙන් ගිෆ්ට් බොක්ස් එකකුත් රැපින් පේපර් එකකුත් අරගෙන... නාරාහේන්පිට ටවුන් එක පුරාම ඇවිද්දේ ඔයාගේ තෑගී ඔතන්න සෙලෝටේප් එකකුයි කතුරකුයි හොයාගන්න, ඒක ඉස්තරම්ම විදිහට ඔයාට දෙන්න ඕනෑ නිසා...

ඔයාට ලන්ච් බ්රේක් එක හම්බෙන්න කලින් කොහොම හරි මම ඔතනට ආව රත්තරන්... 

ඒත්..... මාව දැක්කට ඔයාගේ මුනේ ලොකු සතුටක් තිබ්බේ නෑ නේද.... මම ගෙනාපු තෑග්ග දීල විශ් කරද්දී වෙනදනම් ඔයා දඩි බිඩියේ බලන්නේ මොනවද මම ගෙනාවේ කියලා... ඒත් ඊයේ.... ඔයා ඒක දිහා බැලුවේවත් නෑ.... කැන්ටිමේ කෑම කද්දී ඔයා මම දීපු පාර්සලේ වෙන කෙල්ලෙක් අස්සට දාලා... තෑග්ගක් දිපුහම වෙනද ඒක බදාගෙන ඉන්න ඔයා... ගොඩක් වෙනස් වෙලා... මට ගොඩක් දුක හිතුනා රත්තරන්... අඩුම තරමේ මාත් එක්ක ඔයා කතා කරේ වත් නෑ හරියට... කමක් නෑ.. මම ආවනේ.... මම අපහු යද්දී ඔයාට් ඇඩුනා... ඒත්.. ඔයා මන් එක්ක කතා කරේ නෑ... ඔයා කොළඹ ආපු දවසේ... මම ඔයාව එක්කන් එන්න බලාගෙන හිටියේ.. ඒත් ඔයා නාඳුනන කට්ටියක් එක්ක, ඔයාගේ යාලුවෝ එක්ක තනියම ගියා... ඔයාගේ හීන වල දැන් මම නැතුව ඇති සමහර විට.. නැත්නම් ඒවගේ මාව පෙනී පෙනී බොඳ වේවි යනවද.... නැත්නම් වෙන කෙනෙක් ඒ හීන වලට එන්න හදනවද.... මම ඊයේ හවස ඔයාට නපුරු වුණා රත්තරන්.. සමහර විට ගෙදරින් පිට නිසා ඔයා දුකින් ඇති.. ඒත් ඔයා තනියම විඳවනවා... ඔයාට ඒ දුක මාත් එක්ක බෙදා ගන්න බැරිද... 

ඒත් ඔයා ඊයේ රෑ කිව්වා "මගේ බර්ත්ඩේ එක දවසේ මගේ කියල හිටියේ ඔයා විතරයි" කියලා.. ඔයා ඔයාගේ හීන පස්සේ තනියම පන්නනවද රත්තරන්???? කමක් නෑ ඔයා මාව දාල යන දවසක් වෙනකන් මම ඔයා එක්කම ඉන්නවා.. ඔයාට කවදාවත් වරදින්නේ නෑ...

ඉස්සර මම ආදරේ කරපු ඒ දඟකාර හුරතල් කෙල්ල එනකන් මම බලන් ඉන්නම් රත්තරන්... ඒක මගේ මෝඩකම වෙන්න පුළුවන්.. ඒත්..... එහෙම බලාපොරොත්තු තියාගෙන ඉන්න එක වැරද්දක් නෙමෙයිනේ... මට ඒක සතුටක්...

ඔයාට බුදු සරණයි..!!!



lone boy


photos: http://i1069.photobucket.com/albums/u477/ALPerrin/Birthdays/GIFs/happybirthdaycakegif4.gif
           http://2.bp.blogspot.com/-eeHpFE6DYZ0/Ty1vwuROqfI/AAAAAAAAAIY/YveHzreJcM0/s1600/20080829_LonelyBoy.jpg

Saturday, September 6, 2014

ගොරක යකා සමඟ එකට කෑම....


හෙඩින් එකට බය වෙන්න කාරි නෑ.. මම කියන්න හදන්නේ පොඩි කාලේ අපි කරපු සෙල්ලමක් ගැන...
ඉස්කෝලෙදි එහෙම නෙමෙයි.. නිවාඩු දවස් වලට නිවාඩු කාල වලට කරපු සෙල්ලමක් ගැන. අපේ අත්තම්මා, ඒ කියන්නෙ අපේ අම්මගේ අම්මා, ඒ වගේම අම්මගේ අක්කල දෙන්න, මගේ ලොකු අම්මා සහ අපි පදිංචි වෙලා හිටියේ එක ළඟමයි. අත්තම්මා සහ ලොකු අම්මලා හිටියේ අක්කර කිහිපයක තරමක් විශාල වත්තක ගෙවල් හදාගෙන. ගේ අවට තරමක් එලි පෙහෙළි වෙලා තිබුනත් වත්තේ මීටර් 200ක් පමණ ඇතුලට යනකොට තියෙන්නෙ මහා කටු කැලයක්... ඒ වගේම නිවාඩුවක් හම්බුන හැම වෙලේම මමත් මල්ලිත් වැඩි හරියක්ම හිටියේ මේ ගෙවල් වල. කොහොමත් සතියට අඩුම තරමේ දින 5ක්වත් අපේ අම්මත් ලොකු අම්මලත් අත්තමගේ නිවසට පැමිණ හවස් වරුව කාලය ගත කරන්න පුරුදු වෙලා සිටියා...

Wednesday, September 3, 2014

Good Old Days ➟ අමතක නොවන අතීතය...2


මේ සිද්දිය වුනේ අපි හතර වසරේ ඉන්නකොට.. ඒ වෙනකොට අඬ අඬ හිටපු අපේ පොඩි බබාලා ටික දැන් ලොකු වෙලා හෙන පොරවල් ලු ඈ.. ලේසියැ ප්‍රාථමිකයේ දෙවෙනියට ලොකුම අය්යල නේ... ඒ වුනාට හැබැයි අපේ පන්තිය තිබ්බේ අනිත් ප්‍රාථමික පන්ති වලින් වෙන් වෙලා.. ඉස්කෝලේ අනිත් කෙලවරේ. ඊට හපන් හොදම වැඩේ කියන්නෙ පිට්ටනිය අයිනෙමයි. හරියටම පැවිලියන් එක උඩ තට්ටුව. අපිටත් ඉතින් නිධානයක් පහල වුණා වගේ තමයි.. ඉන්ටර්වල් එකට ප්‍රාථමිකයේ ලොකු ටීචර්ලා නෑ... පන්ති භාර ටීචර් නෑ... හම්මේ ඉතින්..... කාපු වෙලේ ඉඳන් පිට්ටනියේ...
ඉතින් කාට බය වෙන්නද... ලොකු ලොකු අය්යල වුනත් අපිව ගැන ගත්තේ නෑ... සද්ද බද්ද දාන්න ආවෙත් නෑ... පොඩි කොල්ලොනේ....
පන්තිය ගැන කියනවනම් ළමයි 45ක් වගේ හිටිය මතකයි. පන්තිභාර සර් ගේ නම උපුල් ගුණතිලක. ඒ දවස් වල අපිව කණ්ඩායම් වලට බෙදලා පන්තියේ ඉන්දවල තිබ්බේ... ඒ දවස් වල මන් ගැන කියනවනම් ඉතින් හෙන බ්‍රයිටෙක් ඈ පස්සේ කාලෙක අමුම අමු මැට්ටෙක් උනාට... :P ... වාර පරීක්ෂණ වල ෆයිට් එකක් තිබ්බේ මමයි, ඒ දවස් වල එල බොක්කක් වෙලා හිටපු ධර්මේ සහ තිලිණ අතරේ.. පලවෙනි ස්ථාන තුනම අපි තුන් දෙනාටම වෙන් කරලා වගේ තමා තිබ්බේ.. :D

Related Posts Plugin for WordPress, Blogger...