Friday, October 10, 2014

මට තාම මතකයි...❦❦❦



පොඩි කාලේ මම හරි ආසයි අම්ම අප්පච්චි ගාව දැවටී දැවටී ඉන්න.. ඒ දෙන්නගේ උණුහුමට තුරුල් වෙලා නිදියන්න. මට තාම මතකයි අප්පච්චි  වැඩ ඇරිලා ආවම මාව වඩාගෙන ගේ වටේම ඇවිදිනවා... ඒ කාලේ හීනයක් වගේ... බොඳ වෙච්ච මතක විතරයි... මට අවුරුදු දෙකේදී තුනේදී වෙච්ච සමහර දේවල් ඒ විදිහටම මතක එක ගැන අම්ම අදටත් පුදුම වෙනවා. මම දන්නේ නෑ සමහර විට ඒ දේවල් එක්ක මම ගොඩක් බැඳිලා හින්ද වෙන්න ඇති.... 
චූටි කාලේ ඉඳන්ම මම කවදාවත් දකින දකින දේ ඉල්ලලා අම්මට අප්පච්චිට කරදර කරලා නෑ.. හරියට එහෙම ඉල්ලන පරක්කුවට ඒ දේවල් අරන් දෙන්න තරම් වත්කමක් අප්පච්චිට නෑ කියල තේරුණු හින්දද කියලත් වෙලාවකට හිතෙනවා.. දවසක් අපි ගමේ ගිහින් එනකොට බස් ස්ටෑන්ඩ් එක ගාව කඩේක තිබ්බ පොඩි සෙල්ලම් සවලක් දැකල හොරෙන්ම අම්මගේ කනට කරලා අම්මේ මට අරක අරන් දෙන්නකෝ කියල කියද්දී අම්මගේ ඇස් දෙකට කඳුළු ආපු හැටි මට තාම මතකයි. "මෙච්චර අරුමෝසම් සෙල්ලම් බඩු තිබිලත් මගෙ පුතා ඉඳල ඉඳල ඉල්ලන්නෙත් මේ වගේ දේවල් නේද..." කියල අම්මට හිතෙන්න ඇති... ඒක මේස හැන්දකට වඩා ටිකක් ලොකු කොළ පාට සවලක්.. 
ඒත් කිසිම දවසක ඒ දෙන්න මට අඩුපාඩුවක් කරලා නෑ... මම ඉල්ලුවේ නැති වුනත් පුළුවන් හැම වේලාවෙම පොඩි හරි සෙල්ලම් බඩුවක්. කෑමක් බීමක් අරන් එන්න අප්පච්චි කවදාවත් අමතක කරේ නෑ...

ඒත්...... මල්ලි හම්බෙන්න ඉද්දි ඉඳන් හැමදේම වෙනස් වුණා වගේ... මාව ටිකෙන් ටික ඈත් වුණා.. මාස කීපයක් මාව මොන්ටිසෝරි එක්කන් ගිය අම්ම.. මොන්ටිසෝරි ඇරිලා එනකන් පේන මානේ ලොකු අම්ම එක්ක ඉඳගෙන හිටපු අම්මා ඊට පස්සේ ආවේ නෑ.. මාව එක්කෝ ලොකු අම්මයි ඒ මල්ලියි එක්ක යැව්වා.. නැත්නම් අප්පච්චි වැඩට යන ගමන් මාව එක්කන් ගිහින් මොන්ටිසෝරියේ තනි කරලා ආවා... මොන්ටිසෝරි ඇරිලා ලොකු අම්ම එක්ක යන එක අනිවාර්ය දෙයක් වුණා.. අනිත් ළමයි ඔක්කොම අම්මල එක්ක යද්දී මම තනියම.. මම මොන්ටිසොරියේදී කොච්චරක් නම් ඇඩුවද... ජනේලේ එල්ලිලා මොන්ටිසෝරි ඇරිලා ගෙදර යනකන් අඬපු එක තමයි කරේ.. ගෙදර ඇවිල්ලත් මොන්ටිසොරියේදී ඇඩුවා කියල හොඳටම ගුටි කෑවා.. ඒ කාපු කෑම අදටත් හොඳට මතකයි.. මම ගෙදර එද්දී අම්ම කොට්ටකුත් ලෑස්ති කරගෙනයි හිටියේ... තව දවසක් රෑ වෙනකම් අම්මයි අප්පච්චියි කතා නොකර හිටපු හැටි තාම මතකයි...

මල්ලි හම්බුනාට පස්සේ තවත් කොච්චර දේවල් වෙනස් වුනාද.. මාව පවුලෙන් කොන් වුණා වගේ... මල්ලිව හම්බුන දවසේ කුරුණෑගල සමුපකාර හොස්පිටල් එකට ගිය දවස තාම මතකයි.. අත්තම්මා ලොකු අම්මලානෑයෝ ගොඩයි.. මල්ලිව පොඩි ළමයි තියල තියන ඇඳක.. අම්ම කිව්වා පොඩ්ඩක් මේ කෝට්ටේ පැත්තකට කරලා අල්ල ගන්න කියලා.. ඒත් මගේ අතින් ඒක ලෙස්සල මල්ලිගේ ඇඟ උඩට වැටුනා.. හැමෝම මට එදා හිනා වුණා දැන් ඉඳලම මල්ලිට කරදර කරනවද කියල.. ඒ වෙලේ ඉඳන් මට මල්ලි ගැන පුදුම වෛරයක් ඇති වුනේ....

මම ඉස්කෝලේ යන්න පටන් ගත්තට පස්සේ මාව අත්තම්මලගේ ගෙදර නතර කරා.. ඊට පස්සේ මම තවත් ගෙදරින් ඈත් වුණා.. සෙනසුරාදා ඉරිදා දවස් වල විතරයි ගෙදර.. මට දැනුනේ ගෙදර අයට මාව කරදරයක් වගේ... ඒ ඈත් වුනු ඈත් විල්ල හැමදාටම එහෙමයි.. අදටත්... මගේ හිතේ තියන දේවල් මාත් එක්කම තියාගත්තා.. කිසි කෙනෙක්ට කිව්වේ නෑ.. ගෙදර ඉද්දි මල්ලි මොන දේට ඇඩුවත් බැනුම් ඇහුවේ මම.. එයා ගැන තිබ්බ වෛරය තවත් වැඩිවෙන්න ඒකත් හේතුවක් වෙන්න ඇති...ඒ කාලේදී ගෙදර ඉද්දි මම නිදාගත්තේ තනියම...අම්ම අප්පච්චි මල්ලි එක්ක වෙනම..ඒ කලේ මම කළුවරට ගොඩක්ම බයයි.. මට නින්ද යනකන් අප්පච්චි ලඟට වෙලා හිටියත්.. රෑට මට ඇහැරුනාම මම තනියම අඩලා තියන වාර අනන්තයි... මගේ හිතේ තියන දේවල් කියාගන්න බැරුව හිරකරන් ඉන්න බැරුව අඩපු වාර අනන්තයි... ඒ කාලේ ඉඳන්ම ගෙදර මම හිටියේ තනියම.. මම ගොඩක් නිශ්ශබ්ද චරිතයක් වුනේ එහෙම... ඉස්කෝලෙදි වුනත් සිද්ධ වුන දෙයක් කියාගන්න කෙනෙක්වත් නැති තරම්. අම්ම ඒ දේවල් මගෙන් ඇහුවත් මට කියාගන්න බෑ.. ඒවා කියන්න තරම් ලෙන්ගතු කමක් නෑ කියල මට දැනුනේ.. අදටත් ඒ හැඟීම එහෙමමයි...

මට තවමත් මතකයි මල්ලි මොන්ටිසෝරි යන කාලේ... අම්ම මල්ලි එක්ක මොන්ටිසෝරියේ ට්‍රිප් එක ගියා... උදේ පාන්දරම අම්මයි මල්ලියි අප්පච්චි එක්ක මොන්ටිසොරිය ගාවටගියා.. යන්න කලින් අම්ම මම නිදාගෙන හිටිය තැනට ආවා.. මම හොර නින්දක් නිදාගෙන හිටියේ.. "ගිහින් එන්නම් මගේ පුතේ.." කියල අම්ම මගේ ඔලුව ඉම්බා... මගේ ඇස් දෙකෙන් පැනපු කඳුළු හංගගන්න මම කොට්ටෙට මුණ තද කරගත්තා.. අවුරුදු ගානකට පස්සේ එදා තමයි අම්ම එහෙම කරේ.. මම අඩුවේ දුකටද සතුටටද මන්දා.. ඒත් ඒ සිදුවීම කවදාවත් අමතක වෙන්නේ නම් නෑ...


me aloneගොඩක් අය ඉස්සර ඉඳන්ම මට බනිනවා මගේ හරි ලොකු කම කියල.. ඒත් ඇත්තටම මම ගොඩක් නිශ්ශබ්ද වෙලා... සමහර විට මුළු පවුලෙන්ම කොන් වෙච්ච චරිතයක් වුනු හින්දද දන්නේ නෑ.. හැබැයි කොයි වෙලේ වත් අම්ම අප්පච්චි මට අඩුපාඩුවක් වෙන්න දුන්නේ නෑ.. කෑම බිම ඇඳුම් පැළදුම් විතරක් නෙමෙයි. ඉගෙනීම පැත්තෙනුත් මාව පුළුවන් උපරිමේට යවන්න ඒ අය ගොඩක් මහන්සි වුණා.. ඒත් මම එයාලගෙන් බලාපොරොත්තු වෙච්ච ආදරේ කවදාවත් මට ලැබුනෙ නෑ.. මොන දේවල් කරත් ඒ ආදරේ අඩුව මකන්න බෑ...
අදට වුනත් අප්පච්චි මම අතරේ දවසකට වචන 10 කට වඩා කතා කරන්නේ නෑ... එහෙම වුවමනා වෙලත් නෑ..  මම දන්නේ නෑ ඇයි කියල.. මල්ලි ඉපදුනාට පස්සේ මට අප්පච්චිව පෙනුනේ ගොඩක් දරුණු කෙනෙක් වගේ... පුළුවන් තරම් මඟ ඇරලා ඉන්න බලපු චරිතයක් වුණා ඒක... සමහර විට ඒ චරිතයේ වෙනස් වීම හින්ද මම මඟ ඇරියා වෙන්න පුළුවන්. 

අදටත් අම්ම බනිනවා මම ඉන්නේ ගෙදර බෝඩිම් කාරයෙක් වගේ කියලා.. ඒත් මට ගෙදර අය එක්ක කතා කරන්න තරම් දෙයක් නෑ.. උවමනාවකුත් නෑ.. ඒ තරම්ම මම ගෙදරින් ඈත් වෙලා... සමාජෙන් පුළුවන් තරම් ඈත් වෙලා ජීවත් වෙන්න දැන් මම පුරුදු වෙලා... දවස් ගානක් වුනත් කාත් කවුරුවත් නැති තැනක ඉන්න තරම් දැන් පුරුදු වෙලා.. මගේම හීන ලෝකෙක තනියම ජීවත් වෙන්න තරම් දැන් මම පුරුදු වෙලා.. කිසිම දේකට ඕනෑවට වඩා ලං කරගන්න එකේ වේදනාව නිතරම මගේ හිත මටම මතක් කරලා දෙනවා.. ජීවිතේ කිසිම වෙලාවක කිසිම දේකට ඕනෑවට වඩා ආදරේ කරාම දැනෙන වේදනාව ජීවිතෙන්ම මට මතක් කරලා දෙනවා... ඇත්තටම කිසිම දේකට ඕනවට වඩා ඇලුම් නොකර ඉද්දි ජීවිතේ පුදුමාකාර නිදහසක් විඳින්න පුළුවන්... දැන් මට ඒක තේරුම් ගන්න පුළුවන්... පුදුමාකාර නිදහසක්....

සමහර විට පවුලේ වැඩිමලා විදිහට ඒ වගේ අද්දැකීම් ගොඩ දෙනෙක්ට ඇති... වෙලාවකට ඉරිසියාවටද කියලත් හිතෙනවා.. ඒත් සමහර විට ඒ වෙනස් වීම පොඩි ළමයෙක් විදිහට ඒ කාලේ ලොකු කම්පනයක් වෙන්න ඇති.. නැත්නම් ඒ වෙනස දරාගන්න තරම් අමාරු වෙන්න ඇති.. තාමත් මගේ හිතේ ඒ හැඟීම් ඒ වෛරය ඒ විදිහටම තියෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති. ඒත් ඒ අද්දැකීම් කෙනෙක්ගේ ජීවිතේ වෙනස් කරන හැටි හරි පුදුමාකාරයි...

 මොන දේ වුනත්, මම තවමත් ආසයි මගේ හිත ඇතුලේ හොල්මන් කර කර තියෙන, මට ලැබුණු ඒ අම්මගේ අප්පච්චිගේ ආදරේ, ඒ උණුහුම ආයෙත් එක දවසක් හරි ලබාගන්න පුලුවන්නම්.... ඔව් මම ඕනෑ දෙයක් කරන්න ලෑස්තියි ඒ වෙනුවෙන්...

family

Photos: http://ar2.in/wp-content/uploads/2013/07/sadboy.png
             http://fc08.deviantart.net/fs71/i/2013/126/3/5/sad_boy_by_adorkable_mandie-d64dppi.jpg

21 comments:

  1. අපේ මල්ලි ඉපදුන කාලෙ ගැන මතක් උනා බං.

    උඹ පතන සෙනෙහස උඹට දැනටත් ලැබෙනවා කියලයි මම හිතන්නෙ. හ්ම්ම්ම්ම්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් වෙන්න පුළුවන්...

      Delete
  2. අපේ චූටි දුව ලැබුණෙ දෙවනි දුවට අවුරුදු එකහමාරෙදි. හිතාගංකො කෙල්ලට කොහොම ඉරිසියාවක් අැතිවෙන්න ඇතිද කියලා. අදටත් එයා එහෙමයි. ඕක, පවුලෙ බාලයට නිරායාසයෙන් ලැබෙන ආදරයක්. මක් කොරන්නද? දුක තමයි සනා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත.. ඒත් එහෙම නොවෙන්න ඕනෑ.. අනේ මන්ද.. ලොකු අයට වෙන ලොකුම අසාධාරණයක්!!!

      Delete
  3. හ්ම්ම්ම්ම් .... හැගීම් ...... හැගීම් හැම එකම අකුරු කරන්න පුලුවන්නම් .... මේ සටහන නම් හුඟක් සංවේදියි සිහිනයා

    ReplyDelete
  4. මොන බොරුද බන්,ඔය බොලාටනේ, අපේ අම්ම කැමති ලොකු පුකට, පොඩි පුක වෙච්ච මට මෙලෝ පුකක් නැහැ, දැනුත් බනිනවා බල්ලට වගේ :D, බලපන්කො එකත් හැටි, මම නම් සම අයිතීන් උදෙසා සටන් වදිනවා, මොන එත් මෙලෝ රහක් නැහැ බන් මම ගහන ගේම් මටම පත්තු වෙනවා, මටත් බනිනවා බන් බෝඩින් කාරයා කියලා, සමහර විට ඒ ඒ මට්ටම අනුව අපෙන් අම්මලා බලාපොරොත්තු වෙන දේවල් ඇති, මොකද අපි දකින විදියට නෙවෙයි ඒ ය දකින්නේ, ඒ ය හිතන්නේ ඒ අයගේ බලා පොරොත්තු හීන ඉටු කරන ළමයෙක් වෙයි කියලා, ආදරේ අඩු වෙන්නේ වගකීම් වැඩියෙන් දැනෙන්න අරින්න බන්, නැතුව ආදරයක් නැතිව නෙවේ. කාලය ගෙවෙනවනේ බන්, ඕක නවත්තන්න අපිට බැහැනේ හිත හදා ගනින්, ඔය දැනුත් මක්කද කියවනවා. මොනා කරන්නද බන්, ලබා උපන් හැටිනේ, හිත හදා ගනින්, ජය වේවා!!! (දැන් බලපන් මම ඉන්නේ මෙලෝ රහක් නැති එකෙක් වගේ)

    ReplyDelete
    Replies
    1. අහා මොකොද රෝල්ට කෙල වෙලාද? ටෙස්ට් පොස්ට් එකක් දාල තියෙන්නේ

      Delete
    2. හේ හේ එත් හැමෝම එක වාගේ නෑනේ බන්.. මොනවා කරන්නද.. ලැබුන දේ නොලබුනාම අවුලනේ බන්..

      ඔව් කෙල වෙලා තමා.. ඒකත් වෙලාවකට වාතයක් වෙනවනේ...

      Delete
  5. සිහින ගොඩක් සංවේදී හදවතක් නේ... මේක කියවද්දී ඇත්තටම දුක හිතුන. මම පවුලේ බාලයා හැබැයි මටත් සමහර වෙලාවට ඔහොම හිතිලා තියනවා.තාත්තයි අම්මයි දෙන්නම වැඩට යනකොට පොඩි කාලේ මාව බලාගත්තේ පුංචිලා.ලඟට වෙලා දැවටී දැවටී ආදරය ලබන්න හම්බුනේ නෑ .වෙලාවකට මට ආදරය අඩුවෙන් ලැබුන කියල මට මං ගැනම දුක හිතිලා තියනව ඒත් දැන් ආපස්සට හැරිලා බලද්දී මම ඒ ගැන හිතන්නේ වෙනම විදිහට ඒ අය උදේ රෑ ගෙදරින් පිට රස්සාවලට ගියේ අපි වෙනුවෙන්නෙ.ඉස්සර හැමවෙලේම මම අම්මත් එක්ක රණ්ඩු උනේ අම්ම අය්යට වැඩියෙන් ආදරේ කියල තාත්ත අපිට ආදරේ උනත් එක පෙන්නුවේ නෑ සිහිනට ඔහොම හිතුන එක වැරදි නෑ සමහර විට පවුලේ වැඩිමල වෙච්ච මගේ අය්යටත් ඔහොමම දැනෙනවා ඇති එත් ඇත්තනම් අම්මයි තාත්තයි අපි දෙන්නටම ආදරෙයි අය්යට වඩා වැඩිපුර කාලයක් මම ගෙදර ඉන්න නිසා ඒක මට දැනෙනවා මං ගැන වගේම අය්ය ගැනත් එක විදිහටම හොයනව ඒ ආදරේ හැමවෙලේම පිටතට පෙනන්නේ නෑ හැබැයි ඒ ආදරේ එක සමානයි කිසි අඩුවක් නෑ සිහිනලගේ ගෙදරත් එහෙම්මමයි ..... ඇත්ත මේකයි ඉපදුන දවසේ ඉඳලම අපි ආදරේ හොයනවා හොයා හොයා යනවා ආදරය අඩුඋනාම ආදරෙන් පැරදුනා කියල හිතුනම ආයෙත් ආදරය කරනවා එතකොට ආදරය කරන්නෙ හුදකලාවටයි තනිකමටයි .අපි ආදරේදී ආත්මාර්ථකාමි වෙනවා බෙදාගන්න කැමති නැ.පොඩි කාලේ ඉඳන්ම සිහිනට දුක හිතිලා තියෙන්නෙ ඒකයි .ආදරේ අඩුවෙන් ලැබුන කියන හැගීම. ඒත් එක දෙයක් කියන්න ඕන සිහින ..නිහඬව ඉන්න හුදකලාවට ආදරය කරන්න ඒත් ගෙදරින් ඈත්වෙන්න එපා ..නිශ්ශබ්දව ඉන්නත් එපා ...මොකද මගේ අය්යත් ඔහොමයි ..ඉස්සර වගේ නෙවෙයි දන් ගෙදර් ආවම බෝඩින් කාරය හරිම නිහඬයි සමහර විට එයත් ඔය විදිහටම හිතනවා ඇති ඒත් එහෙම ඉන්න එපා කියල එයාට කියාගන්න මට හය්යක් නැ ඒකඑයාටම දැනෙන්න ඕන මට ඕන එයාගේ කට හඬත් ඇහෙන්න ගෙදර හැමෝගෙම සිනහව සද්දේ කනපුරා ,හිතපුර ඇහෙන්න ... පොඩි කාලේ ඉඳන්ම අපි අම්මගේ තාත්තගේ ආදරේ හෙව්වා ..අනාගතේදී ඒ අය අපෙන් ආදරේ හොයනවා ...සිහිනගේ සිතිවිලි මගේ අයගේ සිතිවිලිවලට සමාන දෝ කියල හිතුන නිසා ගොඩක් ලියවුන ..සමාවෙන්න මේ මට හිතුන දේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් කියල තියන දේ ඇත්ත තමා... බලන් ගිහාම කොහේ වුනත් ඒ වෙනස අඩු වැඩි වශයෙන් තියනවා නේද....

      Delete
  6. පුංචි වයසෙදි ඔහොම වෙනසක් නොදැනුනා නම් තමයි පුදුමෙ. මං නම් පවුලෙ බාලයා. අසේවනා ච බාලානං...!!!!! :D

    ReplyDelete
    Replies
    1. අන්න වාසනාවන්ත කොල්ලෙක් :D

      Delete
  7. පුංචි හිත් ඔහොම තමයි... සටහන සංවේදීව දැනුනා..

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා තුෂානි..!!!

      Delete
  8. ඇස් වලට කදුලක් ආවා..... හරිම ලස්සන කතාවක්.............

    ReplyDelete
  9. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  10. වැඩිමලෙක් නොවුනු නිසා ඔය අත්දැකීම නෑ. ඒත් මද්දුමය විදියටත් ඕක බලපානව සිහින. අයියයි නංගියි අතරෙ හිටිය මටත් ඔය විදියට දැනුන. ඒක එදත් අදත් එහෙමයි. පුංචිකාලෙ ආච්චි සීය ලඟ හැදෙන්න උනා මට. අන්තිමට මං වැරදීමකින් මාව බලන්න ආව අප්පච්චිට "මාමා" කියල ලොකු අවුලක් උනා. ඊට පස්සෙ තමයි මාව අම්මල ලඟට ගත්තෙ. එදත් අදත් අය්යයි නංගියි අතරෙ තියෙන බැඳීම මට වඩා වැඩියි. එදා වගේම අදත් මං මගේ වැඩ තනියම කරගන්න, හුගක් දේවල් තනියම විඳගන්න කෙනෙක්. ඒත් අම්මට අප්පච්චිට නංගිට අයියට හිත ඇතුලෙන් මහ ගොඩක් ආදරෙයි.

    සටහන සංවේදියි සිහින. කඳුලු ආව මට.

    ඔබට ජය..

    ReplyDelete
  11. හරිම සංවේදි සටහනක්., මට මේක කියෙව්වම මගේ අයියා ගැන දුක හිතුනා ඇත්තටම.. මම පවුලේ බාලය විදියට සැහැල්ලුවෙන් ඉද්දී අයියා කොච්චර වගකීමෙන් ඉන්න ඇද්ද කියල හිතෙනව, :(

    ReplyDelete
  12. සංවේදී සටහනක් සිහිනයා...


    ඔය වගේ සිද්දි සමාජයේ නිතර අහන්න දකින්න ලැබෙනවා.. විශේෂයෙන්ම දෙමව්පියන් තමයි මෙතැනදි ලොකුම වැරැද්ද කරන්නනේ.. පස්සෙ ආපු අඟ ලොකුවෙන එක

    මාත් ඉතිං පස්සෙ ආපු අඟක් තමයි.. පොඩි කාලෙනං ගෙදර හැමෝගෙම බයිට් එක.. හැක්හ කැ්

    ජ ය වේ වා !!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...