Saturday, September 6, 2014

ගොරක යකා සමඟ එකට කෑම....


හෙඩින් එකට බය වෙන්න කාරි නෑ.. මම කියන්න හදන්නේ පොඩි කාලේ අපි කරපු සෙල්ලමක් ගැන...
ඉස්කෝලෙදි එහෙම නෙමෙයි.. නිවාඩු දවස් වලට නිවාඩු කාල වලට කරපු සෙල්ලමක් ගැන. අපේ අත්තම්මා, ඒ කියන්නෙ අපේ අම්මගේ අම්මා, ඒ වගේම අම්මගේ අක්කල දෙන්න, මගේ ලොකු අම්මා සහ අපි පදිංචි වෙලා හිටියේ එක ළඟමයි. අත්තම්මා සහ ලොකු අම්මලා හිටියේ අක්කර කිහිපයක තරමක් විශාල වත්තක ගෙවල් හදාගෙන. ගේ අවට තරමක් එලි පෙහෙළි වෙලා තිබුනත් වත්තේ මීටර් 200ක් පමණ ඇතුලට යනකොට තියෙන්නෙ මහා කටු කැලයක්... ඒ වගේම නිවාඩුවක් හම්බුන හැම වෙලේම මමත් මල්ලිත් වැඩි හරියක්ම හිටියේ මේ ගෙවල් වල. කොහොමත් සතියට අඩුම තරමේ දින 5ක්වත් අපේ අම්මත් ලොකු අම්මලත් අත්තමගේ නිවසට පැමිණ හවස් වරුව කාලය ගත කරන්න පුරුදු වෙලා සිටියා...
ඒ වගේම අපේ සෙල්ලම් කල්ලිය වුනේ මමත් මල්ලිත්, ලොකු අම්මගේ පොඩි පුතුන් දෙදෙනා වූ ධනුක මල්ලිත් නිලූ අය්යාත් ය. අපේ ගමේ හිටපු බොහොමයක් සැම වයසේ ළමයින් අපේ නඩයේ නොසිටියේ ඒ උදවියගේ ගේ චරිතය පිලිබඳ අපේ අපේ දෙමවුපියන් තුල වූ නොකැමැත්ත නිසාවෙන්ම ඒ අය සමඟ වැඩිපුර ගනු දෙනු තියාගැනීමට ඉඩ නොදීම හින්දමයි.

හරි... ඒ ගැන විස්තරේ එච්චරයි..

මට මතක විදිහට එතකොට මම 6 වසරේ 7 වසරේ වගේ. ඒ දවස් වල අපිට තිබ්බා පොඩි පහේ ගවේෂණ සහ රහස් පරීක්ෂක උණක්. වැඩි පුරම ඒ උණ තිබ්බේ මට. වෙන මුකුත් හින්ද නෙමෙයි, ඒ දවස් වල ෂර්ලොක් හොල්ම්ස් ගේ පොත් වලට ඇබ්බැහි වෙලා හිටියේ හරියට කුඩු වලට ඇබ්බැහි වෙලා වගේ. පාඩම් පොතක් අතින් අල්ලන්න කම්මැලි මම ඒ පොත් කියෙව්වේ කෑම බීම ගැනවත් හෙවිල්ලක් නැතුව.
උඩදී මම කියපු වත්තේ ඈත කෙලවරේ තිබ්බා තරමක් විශාල ගොරක ගහක්. ඒ ගහ අපිට හම්බුන හැටි ගැන කියනවනම්, නිවාඩු දවසක උදේ රැයින්ම අත්තම්මලගේ ගෙදර අපි සෙට් වුනේ කලින් කතා කරගත්ත විදිහට වත්තේ (ඒ කාලේ අපිට ඒක රහස් වලින් පිරුණු මහා කැලයක්) මහා ගවේෂණ චාරිකාවක් කරන්න හිතාගෙන... පිහි කැති වගේම හොඳ ලී දඬු දෙක තුනකුත් අරගෙන ඔන්න මමයි මල්ලියි ධනුකයි පිටත් වුණා... මේ කැලේ භාගයක් දුර පහු කරනකොට පොඩි පොකුණක් එහෙමත් හම්බෙනවා. ඊට එහායින් ලොකු කජු ගහක් එක්කම පටන් ගන්නෙ ලොකු වන වදුලක්.. ඉනටත් ටිකක් උඩට එනකන් වල් පඳුරු වැවිලා.. තරමක් විශාල මදටිය, කැන්ද, කජු වගේ ගස් එක්ක තවත් නම් නොදන්නා ගස් ගොන්නක් අස්සෙන් අපිත් ඇවිදගෙන ගියා.. පිහි වලින් කැති වලින් කැලේ සුද්ධ කරගෙන ලී දඬු වලින් තට්ටු කර කර එලි පෙහෙළි කරගෙන ගිහින් අපි වැටුනේ පොඩි පහේ පිට්ටනියක් වගේ තැනකට. බිම තණකොළ ගහක්වත් නෑ.. තිබුනේ එකම ගහයි... විශාල අතු විහිදුනු ගොරක ගහක්.. බලන්න අපුරුයි. දවල් වරුවටත් හොදටම හෙවන වෙලා... 

ඒ වෙලාවේ තමයි අපිට අපුරු අදහසක් පහල වුනේ..  "හදමු මේ ගහ උඩ ගෙයක්!!!!"

"අන්න නියම අයිඩියා එක...." මල්ලිත් එක පයින් කැමතියි...

"දැන්ම පටන් ගමු.." ධනුකත් කිව්වා....

ඉතින් අපිත් මොකද කරේ.. වටේ පිටේ තිබ්බ වැට මාර ගස් වල අතු කපල.. තව තිබ්බ පොඩි පොඩි ගස් කපල කදන් එකතු කරා... 

"හරි,.. දැන් අපිට ලනු ඕනෑ මේවා එකට තියල බඳින්න....." මම කිව්වා...

අපි තුන් දෙනාම ආපහු ගෙවල් පැත්තට දිව්වා.... හැම තැනම හොයල හොයල කොහොම හරි ලනු කැරලි කිහිපයක් හොයාගෙන ආපහු අපේ ගහ ගාවට ආවා... 

"මේක ගැට ගහල අපිට උඩට අරන් යන්න බෑ නේද..."

"ඔව් අපි මේක උඩට අරන් ගිහින්ම ගැට ගහමු...." 

ධනුක නැග්ග ගහට.. පොර ඒ දවස් වල ඉඳන්ම ගස් බඩගාන්න උපන් දස්සයෙක්.... :P ඒත් අපි දෙන්නට ඒ තරම් ඒ දක්ෂ කම තිබ්බේ නෑ..

 "හරි දැන් දෙන්න ලී ටික.."

අපි දෙන්නා පල්ලෙහා ඉඳන් ලී ටික උඩට දුන්නා.. ධනුක ඒ ටික උඩ ඉඳන් ගැට ගැහුවා.. ඔන්න දැන් අපේ ගහ උඩ ගෙදර පොලව හරි!!!!!

ඒත් පොඩි අඩුපාඩුවක්!!!
ඔව් මේකට නඟින්න වැල් ඉනිමඟක් හදන්න ඕනෑ.....
 අපේ ඊළඟ වැඩේ ඒක... ඒත් වෙලාවත් හරස් වුන නිසා එදා දවසට වැඩේ අත ඇරියා....

එදා රෑ තිස්සෙත් මගේ ඔලුවේ වැඩ කරේ අපේ ගහ උඩ ගෙදර ගැන. ඒ වෙනකොට අපේ මේ රහස දැනගෙන හිටියේ ලොකු අම්ම විතරයි. ඒ කිව්වෙ ධනුකගේ අම්මා... 

පහුවදත් මමයි මල්ලියි උදෙන්ම පිටත් වුනේ අපේ ගහ උඩ ගෙදර වැඩ ටික ඉවර කරන්න කියල හිතාගෙන... එදා දවසේ කොහොම හරි අපි වැල් ඉනිමඟ කුත් හදා ගත්තා.. දැන් කිසිම අවුලක් නැතුව ඕනෑ කෙනෙක්ට උඩට නැගගන්න පුළුවන්, මුල්ම වතාවේ උඩට නැග්ග ගමන් මට දැනුනේ අපිත් දැන් නියම ටාසන්ලා වගේ නේද කියලා.. :D 
කොහොම හරි එදා අපේ ලී ගෙදර පොලවේ වැඩ ටික ඉවර කරන් වහලය සහ පැති බිත්ති වලට ඕනෑ කරන අමුද්‍රව්‍ය හොයාගෙන අපේ වැඩ නවත්තන්න සිදු වුණා...
හැබයි පහුවදාත් අයෙත් වැඩ ආරම්භ වුණා.. කොහොම හරි දවස් කිහිපයකින් අපේ නිවසේ වැඩ සම්පුර්ණයෙන් ඉවර කරගෙන ගෙට ගෙවදීමේ උළෙලටත් අපේ අත්තම්මාට ලොකු අම්මාට ඇතුළු සම්භාවනීය අමුත්තන්ටත් අරාධනා ලැබුනා.. ඒ අයත් ඒ ආරාධනාව පිළිගෙන ආවේ අපේ මේ මහා ව්‍යාපෘතිය මොකක්ද කියලා බලාගැනීමේ උනන්දුවෙනුයි... B-)

විවිධාකාර උනන්දු කිරීම්. ඇගයීම් සහ විශාල ප්‍රමාණයේ අවවාද කිරීම් මධ්‍යයේ ඒ වැඩසටහනත් එහෙම ඉවර වුණා....

දැන් තමයි හොල්මන් පාර්ට් එක පටන් ගන්නේ.... 

ඊට පසු දිනෙක අපේ ලොකු අම්මා අපේ ගෙදර ගිය වෙලාවක අපි තිදෙනාට කියපු කතාවක්....

"ඔය ගොරක ගස් අස්සේ ඉන්නෙ බලාගෙන හරිද... ඕවගේ යක්කු ඉන්නවලු..."

ධනුක: "යක්කු..???"

මම: "මොන යක්කුද????"

ලොකු අම්මා: "ගොරක යක්කු!!!!... අනික මහා කැලේ..."

අපේ අම්මා: "ඔව් බලාගෙන හරිද.... යක්කු කෙසේ වෙතත් සත්තු සර්පයෝ... මම නම් වැඩිය කැමති නෑ ඔය                        වැඩේට.."

ඒ කතාවෙන් නම් අපිත් පොඩ්ඩක් හොල්මන් වෙලා ගියා... මොක වුණත් යක්කු!!!!!!!!!

හැබැයි එහෙම කියලා අපේ සෙල්ලම් ගෙදරින් එලවගන්න නම් කාටවත් බැරි වුණා.... හැබැයි අපි වෙනද වගේ උදේ ඉඳන් හවස් වෙනකන් එතන සෙල්ලම් නොකෙරුවේ හිතේ කොනක තිබ්බ පුංචි බයකටත් වෙන්න ඇති..

 දවසක් අපි ටිකක් හවස් වෙනකන් ඔය ගහ උඩ පොඩි බජවුකුත් දාගෙන අපි විසින්ම සාදාගත් අමුතුම වර්ගයේ රොටියක් (ඒ දවස් වල අපි එක එක ජාතියේ කෑම ජාති පිලිබඳ පොඩි පහේ පරික්ෂනත් කරා.. :P ) අනුභව කරමින් ඉන්නකොට කැලේ අස්සෙන් අමුතු සද්දයක් ඇහුනා.. කවුරු හරි ඇවිදගෙන එනවා වගේ.... ගෙවල් පැත්තෙනුත් නෙමෙයි.. අනිත් පැත්තෙන්... දැන් අපිත් පොඩ්ඩක් විතර හොල්මන්.. මගේ නම් ඔලුවට ඒ වෙලාවේ ආවේ ලොකු අම්ම අපි පිටත් වෙන්න කලින් කියපු කතාවක්.

"ඔය කෑම ජාති උස්සන් මහා කැලේ කන්න එපා ළමයි... ඊට හපන් ගොරක ගස් අස්සේ"

අනිත් දෙන්නටත් ඒකම හිතෙන්න ඇති...

"කවුද ඒ???" මල්ලි හොදටම බය වෙලා...

"ඒ පැත්තෙන් කාටවත් එන්න බෑනේ...." ධනුක හඬ අවදි කරා...

"ඇත්ත... යමු අපි බැහැල හොරෙන්ම ලං වෙලා බලමු..." මම යෝජනා කරා....

අපිත් හෙමින් හෙමින් සද්ද නොකර ගහෙන් බිමට බැස්සා... 
"සද්ද කරන්න එපා පාත් වෙලා හිමිහිට ගස් අස්සෙන් ගිහින් බලමු..." මම කිව්වා...

එතකොටම මහා හයියෙන් කවුරු හරි ගොරවන සද්දයක්!!!!!! 

"පලයවූ යන්න මෙතනින්!!!"

බයවුණු තරමට එක හුස්මට අනිත් පැත්ත හැරිලා දිව්ව දිවිල්ල නතර වුනේ අත්තම්මලගේ ගෙදරින්...

අපේ කලබලයට හේතුව ඇහුවත්... අපි කවුරුත් උත්තර දෙන්න නම් ගියේ නෑ... ලොකු ප්‍රශ්නයක් ඇති වූ බවක් වැඩිහිටියන් ට නොපෙනුණු නිසාත්... අපිත් ඉක්මනින් යථා තත්වයට පත් වී දෙවෙනියට ප්‍රියතම ක්‍රීඩාව වූ ක්‍රිකට් ගැසීමට පටන් ගත් නිසාත් ඒ ගැන ඒ අයත් වැඩි උනන්දුවක් දැක් වූයේ නෑ...

ඒත් පස්සේ කාලෙකදී දැනගන්න ලැබුනේ අපිව මහ කැලයෙන් ඈත් කර තැබීමට වැඩිහිටියන්ගේ අනු දැනුම මත ධනුකගේ බාල අයියා ගේ මගෝඩි වැඩක් විදිහට ගොරක යකාගේ රඟපෑම සිද්ධ වුනු බවයි...

හැබැයි එදායින් පස්සේ අපි අයේ ඒ පැත්ත පළාතකට වත් ගියේ නම් නෑ.. ඊට අවුරුදු ගනනාවකට පසු කැලෑව එලි පෙහෙළි කිරීමේ කටයුතු සිද්ධ වුණා.. ඒ දවස් වල මට ආපහු අපේ සෙල්ලම් ගෙදර බලාගන්න පුළුවන් වුණා.. දිරාපත් වෙලා තිබුනත්, ඒ ඉනිමඟ වගේම ලි නිවසේ පොලවට යෙදු දඬු ටිකත් අපුරුවට තිබ්බා.... 
අද ඒ ගහ එතන නැති වුණත් වට පිටේ ගෙවල් කිහිපයක් හැදිලා තිබ්බත්, තාමත් ඒ තැන දකිද්දී මට මතක් වෙන්නේ ඒ සුන්දර දවස් කීපය....







photos:
https://c2.staticflickr.com/8/7168/6444550145_8637c4f27c_z.jpg
http://upload.wikimedia.org/wikipedia/commons/c/c7/Garcinia_pseudoguttifera.jpg
http://www.permies.com/t/15124/a/4787/blue-forest-treehouse-lg.jpg

6 comments:

  1. හෙක් හෙක් ගොරක යක්කු, පට්ට ආතල්, ඔය වගේ ආතල් ගත්තේ නැති පොඩි කාලයක් වැඩක් නා බන්, එත් ඔය ගේ ආතල් තියෙන උන් අල්පයි, අපි ඇදපු අංචි වල හැටියට අනේ අම්මෝ වතුර ගෙනියන්න එන මිනිස්සු බය කරලා කලත් බින්දවලා,හෙක් හෙක් කියලා වැඩක් නා බන්, එහෙම පිටින්ම අමුම අමු ගොබ්බ ගොන් කන්. :D

    ReplyDelete
    Replies
    1. සිරාවටම බන්.... අතීතය කියල අපිට සතුටු වෙන්න පුළුවන් ඒ වගේ දේවල් තියන අපි වාසනාවන්තයි බන්.. දැන් කාලේ පොඩි උන් එක්ක ගත්තම....

      Delete
  2. අපිත් පොඩි කාලේ ඔය වගේ ගේ ළඟ තිබුණු පුංචි කැලෑවක ගස් උඩ බංකරයක් හදාගෙන හමුදාව වගේ සෙල්ලම් කලා..
    එතන කන්ඩියට පහලින් තිබුනේ පාර..ඉතිං හැලහොල්මනක් නැතුව හැංගිලා ඉඳන් පාරේ ගියපු අයට බට තුවක්කුවෙන්
    විදලා පොඩි පොඩි පුරස්නත් ඇති උනා.හැක් හැක් :D

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පා.... අපි එක පාරක් හැංගිලා ඉදල ඇන්ටි කෙනෙක් ව බය කරලා මට මතක හැටියට අන්තිමට ඒ ඇන්ටිට නූල් බඳින්නත් වුණා... :D

      Delete
  3. හවසට ගෙදර ඇවිත් කාපු ගමන් කොල්ලො සෙට් එක එක්ක එකකෝ ගවේෂණ. නැතිනං ක්‍රිකට්. එහෙව් අපිම අපේ ලමයින්ට ගෙයින් එලියට බහින්න දෙන්නෑ...ආදරේ වැඩිකමට බයේ...
    සුන්දර ආවර්ජනාවක් ගෙන ආවාට ස්තුතියි...ජය..!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තට ආවට Visitor V

      Delete

Related Posts Plugin for WordPress, Blogger...